පසුගිය ඡන්ද වීමසීම්වලදී රාජ්‍ය ආයතන පොරොන්දු වූ පරිදි මැතිවරණ රාජකාරී කටයුතුවලට වාහන ලබාදී නොතිබුණේ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ ඡන්ද රාජකාරිවල යෙදවීම පිණිස රජයේ වාහනවල තොරතුරු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට ලබාදෙන ලෙසයි.

ඡන්ද විමසීමේ රාජකාරී සඳහා නිලධාරීන් මෙන්ම වාහන සහ අනෙකුත් රාජ්‍ය සම්පත් යොදා ගැනීමේ පූර්ණ බලතල මැතිවරණ කොමිෂන් සභාව සතු බව එම කොමිසම අවධාරණය කර තිබෙනවා.

දීප ව්‍යාප්තව ඡන්ද වීමසීමකදී සෑම දිස්ත්‍රික්කයකම තේරීම් භාර නිලධාරීන්ට වාහන විශාල සංඛ්‍යාවක් අවශ්‍ය බවද එම වාහන දිස්ත්‍රික්කයේ ඇති අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල වලින් ලබාගත යුතු බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව රජයේ ආයතන සතුව මනා ධාවන තත්ත්වයෙන් යුතු සියලු වාහන පිළිබඳ විස්තර මෙම චක්‍රලේඛය ලැබී සති 02 ක් තුළ ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *