නවක වදය ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබා දීම සඳහා උපදේශන ඒකක ශක්තිමත් කිරිමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමාජිකයෙකු මේ වනවිට පත් කර ඇති බවයි.

මේ අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු විධිමත් අයුරින් මේ වනවිට සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 20දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ, සිසුවාගේ මරණය නවක වදය දීමෙන් සිදුවූවා දැයි සැක කරන බවට විශ්වවිද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් හා මියගිය සිසුවාගේ පියා කළ පැමිණිල්ලක් මත විමර්ශන ක්‍රියාත්මක බවයි.

නවක වදය අපරාධමය වරදක් බැවින් එවැන්නක් සිදුව ඇති බවට තහවුරු වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කළා.

මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා සබරගමුව විශ්වවිද්‍යාලය ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *