මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් ප්‍රකාශ කළේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි.

එමෙන්ම විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදු කරන බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තුව සංශෝධනය කරන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඊට අදාළ යෝජනා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේ මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මස 17වනදා සිදුවූ අතර එහිදී විදුලි ගාස්තු 20%කින් අඩු කිරීමටයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *