චීනයේ චෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව රජය පවසනවා.
විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවයි.
ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එම කොන්සියුලර් කාර්යාලය පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ සහ ස්ථාන පහසුකම් නොමිලේ ලබාදීමට චෙන්දු ප්‍රාන්තයේ ප්‍රධානියා එකඟතාවය පළ කළ බවයි.
ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙපාර්ශවය අතර ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර තිබෙනවා.